Sunday, November 24, 2013

මානව ශිෂ්ඨාචාරයේ ආරම්භයේ සිටම ශිෂ්ට මිනිසා යුක්තිය හා සාධාරණත්වය ගරු කළේය. ඉන් එපිට ශිෂ්ටත්වයක් නැතැයි සිතන තරමටම යුක්තිය හා සාධාරණත්වය මෑරුනි.


ජීවිතය පිළිබඳ ඔබතුමියගේ දෘෂ්ටිය කුමක්ද?

එය සරලව විස්තර කළ හැක්කක් නොවේ. විඳලාම අත්පත් කරගත යුතු දෙයක්. භෞතික අර්ථයෙන් ගත්තොත් උපතේ සිට මරණය දක්වා කාල පරාසය තුළ අප කරන කියන දේ තමා අපේ ජීවිතය බවට පත්වෙන්නේ. අපි හුදකලා සත්ත්වයෝ නෙවෙයි. උපතත් සමගම අපි සමාජ සත්වයෝ බවට පත්වෙනවා. අපේ ජීවත්වීම තීරණය කරන්නෙත් අපි නෙවෙයි. ඒ නිසා ජීවිතය කියන දේ අපේ වගේ පෙනුනාට ක‍්‍රියාත්මක වීම තුළ අපේ නොවේ. අනුන්ගේය. සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික, සමාජ සංස්ථාවන් හතරෙහි අවශ්‍යතාවයන් අනුව අපි මෙහෙය වෙනවා. එම මෙහෙයවීමද ජීවිතය කියන්නේ යැයි සිතන තරමටම ජීවිතය අපෙන් ගිලිහිලා තියෙනවා. උදාහරණයක් ලෙස, විවාහය තුළ සැමියා හෝ බිරිඳ නිසා ජීවිතයෙන් කොටසක් අත් හැරීමට සිදුවෙනවා. එනම් ඔහු හෝ ඇය නිසා ගමන් බිමන්, ඇඳුම් පැළඳුම්, කෑම බීම ආදිය වෙනස් කිරීමට සිදුවෙනවා. එසේම දරුවන්, ඥතීන්, ගුරුවරුන් ආදී සමාජයේ අනෙකුත් පුද්ගලයන් නිසා ජීවිතයේ තව තව කොටස් සීමා කිරීමට සිදුවෙනවා. එසේ බලන විට ජීවත්වෙනවා කියන්නේ අපට අවශ්‍ය ලෙස සිටීමද? ඒ අනුව යථෝක්තව පැවසූ පරිදි භෞතික අර්ථයෙන් ගතහොත් උපතේ සිට මරණය දක්වා කාල පරාසය තුළ අප කරන කියන දේ තමා අපගේ ජීවිතය බවට පත්වන්නේ. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. සමාජ සංස්ථාවල ක‍්‍රියාකාරකම් හමුවේ අප දක්වන ප‍්‍රතිචාරවල විවිධත්වය තුළ, ‘ජීවිතය’ යන්න විවිධ විදියට අරුත් ගැන්වේ. ජීවිතය කියන දේ මොහොතින් මොහොත දිය නොහැකියි. අද ජීවිතය ලෙස අර්ථ දක්වන දේ නොවෙයි තව ටික කලකින් ජීවිතය ලෙස අර්ථ දක්වන්නේ. අප එතරම්ම සංකීර්ණයි. මොහොතින් මොහොත වෙනස් වේ. සියල්ලම වෙනස්වන ලෝකයේ ජීවිතයත් එයට සාපේක්ෂව වෙනස් වේ. ජීවිත පරාසය තුළ අපි ගතකරන, ගනුදෙනු කරන, අපිට අහිමිවන, අපට අත්වන සියල්ලම ජීවිතයයි.


ජීවත්වන සියල්ලන්ම යුක්තිය හා සාධාරණත්වය ගරු කළ යුතුද? ඒක පුද්ගල බද්ධ ප‍්‍රශ්නයක්. අපි කොහොමත් සමාජ සත්වයෝනේ. ඒ නිසා ප‍්‍රජාතන්ත‍්‍රවාදය එහි නාමාර්ථයෙන්ම නොවුනාට අපේ වගකීමක්, යුතුකමක් තිබෙනවා. ‘‘මම විතරක් නොවෙයි. අනෙකෙක් ඉන්නවා’ යැයි සිතන එක. අනෙකා යනු සමාජයයි. සමාජය සමග ජීවත්වන විට අපට ස්වයං විනයක් තිබිය යුතුයි. අප උපත තුළම විවිධ වෙනවානේ. එක සමාන දෙදෙනෙක් ලෝකේ කොහේවත් නෑනේ. අදහස් අතින් ඒක ඔයිටත් වඩා පරස්පරයි. අපට අවශ්‍ය දේම පමණක් කළ නොහැකියි. අප අනෙකා ඉවසිය යුතුයි. උපේක්ෂාව, මධ්‍යස්ථබව හා යමක හරි වැරැද්ද විමසීම, තිබිය යුතුයි. යුක්තිය හා සාධාරණත්වය අවශ්‍ය වන්නේ සාමුහිකව ජීවත්වීම තුළයි. අපට යමකට තිබෙන අයිතිය අනෙකාටත් ඔහුගේ අයිතිය බවට පත් කිරීමට තරම් අප යුක්තිගරුක විය යුතුයි. තමාගේ අත්පත් කරගැනීම් සමූහයේ, අපේක්ෂාවේ දිග පළල තමාට පමණක් නොවේ. ඒ වෙනුවෙන් තමා මොනතරම් දුරට සාධාරණ වනවාද, යුක්තිගරුක වනවාද යන්න සිතා බැලිය යුතුයි. එය නැති නිසාම වර්තමාන සමාජය තුළ ජීවත්වීම යනු යුක්තිගරුක බව හා සමාජ සාධාරණත්වය වෙනුවෙන් කැපවීම ද යන්න ඉදිරියේ ලොකු ප‍්‍රශ්නාර්ථයක් දැමීමට සිදුව ඇත. යුක්තිය හා සාධාරණත්වය ප‍්‍රබලව ක‍්‍රියාත්මක කරන්නේ සමාජ නායකයින්. ඒකෙන්, දේශපාලඥයෝම කියන එක අදහස් කරන් නෑ. පවුලක් ගත්තත්, ආයතනයක් ගත්තත් එහි ප‍්‍රධානීන්ගේ බලය අනෙකා පිට පැටවෙනවා. ආයතනයක එය ඊටත් වඩා බරපතලයි. නිල විදියට බලය කියන දෙය ප‍්‍රධානීන්ට ඒකරාශී වෙනවා. ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් තමා සමාජයට වඩා තීරණාත්මක ක‍්‍රියාකාරකම් වන්නේ. පුද්ගලයකු ලෙස අපි මොනතරම් දුරට සාධාරණව ජීවත්වනවාද? යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවාද යන කාරණය ඇතැම් විට මේ සමාජය තුළ අතිශය භයානක විය හැකි අවස්ථාද තිබෙනවා. ඇතැම් විට බලයන්ට ලක්වන පොදු ජන සමූහය ඒ තුළ පීඩාවටද ලක්වන අවස්ථාද තිබෙනවා. මේ ක‍්‍රියාදාමය තුළ කේවල තනි මිනිසාට යුක්තිය හා සාධාරණත්වය, ජීවිතයේ අපේක්ෂා සහ අරමුණු යනාදිය සඳහා ක‍්‍රියාත්මක වීමට තිබෙන භෞතික හා අධ්‍යාත්මික පසුබිම කුමක්ද යන්න ප‍්‍රශ්නයක්. නමුත් ඉන් අදහස් වෙන්නෙ නැහැ සකලවිධ මිනිසුන්ම අයුක්තිය , අසාධාරණය වෙනුවෙන් පේළි ගැසෙනවා කියා. ඒ අතරත් අතිශය උත්කෘත්ෂ්ට මිනිසුන් සිටිනවා.

ලංකාව තුළත් එවන් උත්කෘෂ්ට, යුක්තිය හා සාධාරණත්වය
ගරු කරන පිරිස් ඉන්නවාද?

ලංකාව තුළත් අතිශය විරල වශයෙන් හෝ ඉන්නවා. නමුත් එ් මිනිසුන් යුක්තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටීම නිසාම, ඔවුන් තුළ ඇතිවන අව්‍යාජත්වය, නිරහංකාරබව අර්ථකථනය වන්නේ නිවටකමක් ලෙසයි. නැත්නම් කඩාකප්පල්කාරී, අන්‍යයන් ඉදිරියට යාම වලක්වන කෙනෙක් විදිහට. තව අයෙකුට ඊර්ෂයා කරන, ද්වේශය නිසා අන්‍යයන්ගේ ගමන් මගට අකුල් හෙලන මිනිසුන් පිරිසක් විදිහට. හේතුව, මේ මහා පාරිබෝගික සමාජයේ වෙනදාටත් වඩා අපිව ආකර්ශනය කරන මුදලට, බලයට හා ජනප‍්‍රියත්වයට අපව නම්මන සමාජය අතිශය උත්කර්ශවත් ලෙස නැගී සිටීමයි. මෙවන් වපසරියක ඒවාට අනුගත නොවී හෘද සාක්ෂියට එකඟව අයුක්තියට, අසාධාරණයට එරෙහි වන්නට තනන මනුෂ්‍යයාට මොනතරම් අධ්‍යාත්මික ශක්තියක් තිබිය යුතුද? සියල්ලෝම පෘථග්ජන මිනිස්සුනේ. අනෙක් අතට අප හුදකලා සත්වයෝ නොවෙයි. අපි වටා දෙමාපියන්, දු දරුවන්, ඥතීන් වැනි ලොකු පිරිසක් ඉන්නවා. එ් නිසා අයුක්තිය, අසාධාරණය වෙනුවෙන් මුහුණ පොවන්නට ගොස් ජීවිතයෙන් උවත් වන්දි ගෙවන්නට, කැපකිරීම් කරන්නට පුළුවන්ද යන්න ප‍්‍රශ්නයක්. ඒනිසා ඒ ලක්ෂය දක්වා යන්න අපට ශක්තිය තියෙයිද? නමුත් අයුක්තිය, අසාධාරණයට එරෙහිව හඬ නගන උදාර මිනිසුන් නැතුවා නොවේ. නමුත් අවුලකට වැටුන අබ ඇටයක් මෙන් හුදකලාව අධ්‍යාත්මික සත්‍යයට අරගල කරන එම මිනිසුන් මහා ප‍්‍රවාහයෙන් වැසී ගොස් තිබේ. යම් සෙයකින් යුක්තිගරුක මිනිසුන් හමු වුවහොත් ඊට විපක්ෂ මිනිසුන් ඔවුන් අධ්‍යාත්මිකව විනාශ කොට දමනවා. භෞතිකව මරනවාට වඩා එය බරපතලයි. ජීවත්වන තුරුම සමාජ සත්ත්වයකු ලෙස ආත්ම ගරුත්වයෙන් යුතුව ජීවත්වීමට ඇති අවකාශය සහමුලින්ම නැතිකොට දමනවා. එය තමයි ඛේදය. යුක්තිය, සාධාරණත්වය, යන්න නිර්වචනය වෙලා තියෙන තත්ත්වයෙන්ද එය ක‍්‍රියාත්මක වන්නේද යන්න ප‍්‍රශ්නයක්.

යුක්තිය හා සාධාරණත්වය රකින්න සිටින පිරිස්ද ඇතැම්විට එවා කඩකරන අවස්ථා දකින්න ලැබෙනවා නේද?

එය හුදෙක් දේශපාලනයේම පමණක් නොව, ඕනෑම සමාජ ආයතන, සංස්ථා තුළත් දැකිය හැකිය. ඕනෑම අයකුට නායකත්වය හෝ බලය අත්වෙනවා කියන්නේ යටත් පිරිසට මග පෙන්වන්නා බවට ඔහු පත්වීමයි. එය කැමැත්තෙන් හෝ අකමැත්තෙන් විය හැකියි. බොහෝ ඉහළ නිල තල දරන්නන්ට නිලයෙන් හිමිවන බලයක් තිබෙනවා. යටත් වැසියන් එ් බලයට අවනත විය යුතුයි. එසේ නොවුන හොත් එතන නිත්‍යානුකූල අරගලයකුත් ඇතිවනවා. එවන් වපසරියක සමාජ සාධාරණය, නීතිය, හරි වැරැුද්ද පෙන්වා දෙන්නට, එ් වෙනුවෙන් යමක් කරන්නට සිටින මිනිසුන්ට එය විනාශ කොට දමනවා නම් එතනින් එහාට එ් ඛේදයේ දිග පළල අමුතුවෙන් විග‍්‍රහ කළ යුතු නැහැ.

ජීවත්වෙන සෑම මනුෂ්‍යයෙක්ම යුක්තිය හා සාධාරණත්වය
ගරු කළ යුතුමද?

හැම මිනිසෙක්ම ගරු කළ යුතුයි. හේතුව අපි සමාජ සත්ත්වයෝ නිසා. අපි කාටත් හුදකලා පැවැත්මක් නැහැ. අපට, අපට අවශ්‍ය විදිහට සිටිය හැක්කේ අනෙකා සමග ගණුදෙනුවක් නැත්නම් පමණයි. බොහෝ විට අපට සමාජයේ එසේ සිටිය නොහැකියි. යුක්තිය හා සාධාරණත්වය පසකට දා ජීවත්වන්නට ගියහොත් ඉන් පීඩාවට පත්වන කීදෙනෙකු ඉන්නවාද? එම නිසා අනෙකා පිළිබඳ කල්පනා කිරීම, අපගේ වගකීමක් හා යුතුකමකි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව තුළ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ වගන්ති තිබෙනවා. එසේම සියලූම ආගම් මගින්ද යුක්තිය හා සාධාරණත්වය සමාජගත කොට තිබෙනවා. අයිතිවාසිකම් කඩ වූ විට නීතියේ පිළිසරණද තිබෙනවා. නමුත් ක‍්‍රියාකාරීත්වය තුළ කොතරම් දුරට මේවා ප‍්‍රායෝගිකද? ඉන් අත්පත් කරගත් යමක් පවතීද? නැත්නම්, ක‍්‍රියාත්මක නොවීම තුළ අප ලැබූ පරාජයන් තිබේද? යන්න කල්පනා කොට බැලිය යුතුයි. එහිදී එම දෙකටම, එනම් යුක්තිය හා සාධාරණත්වය යන ද්වන්ධයටම සමාජයේ තිබෙන වලංගුභාවය පැහැදිලි කරගත හැකියි.

අවසාන වශයෙන් ඔබතුමිය සමාජයට දෙන පණිවුඩය
කුමක්ද?

අප මොනවා කළත්, අප හැමෝටම හෘද සාක්ෂියක් තිබෙනවා. කුණුවෙලා ඕජස් ගලන හෘද සාක්ෂියක හරි කොනක් ඉතුරුවෙලා තිබෙනවා. අප කරන දෙය මුළු ලෝකයෙන්ම හැංගුවත් හෘද සාක්ෂියෙන් හංගන්න බැහැ. අපට කවදා හෝ හෘද සාක්ෂිය සමග කතා කරන්න මොහොතක් එළඹෙනවා. අප බිය විය යුත්තේ එම මොහොතටයි. එම මොහොතේදී අපට හිතන්න පුළුවන්නම්, අපට දැනෙනවා නම්, අපට කියන්න පුලූවන්නම්, අප කළ සියල්ල කළේ අනෙකාගේ යහපත, සමාජ සාධාරණත්වය, යුක්තිය වෙනුවෙන් කියා එදාට අපි ජය ලැබූ අයෙකු වෙනවා. එහිදී පසුතැවීමට සිදුවනවා නම්, අපි අසාර්ථකයි. අප සියල්ලෝම ස්වභාවධර්මයේ දරුවෝ නිසා හෘද සාක්ෂියට එකඟව කතා කිරීමට අවස්ථාවක් ස්වභාව ධර්මයෙන්ම ලැබෙනවා. හැම ආගමකින්ම පෙන්වා දෙන්නේ එ් කාරණයයි.

කෙනෙකුට මේ සමාජය යහපත් සමාජයක් කළ යුතු නම් ප‍්‍රථමයෙන් තමා සන්නද්ධ විය යුතුයි. දැනුමින්, අධ්‍යාත්මයෙන් සමාජය පිළිගත් පුද්ගලයෙකු බවට පත්වීමට උත්සාහ කිරීම පළමු පියවරයි. ඉන්පසුයි, මෙම සමාජයේ ප‍්‍රශ්න සහගත දේවල් ප‍්‍රශ්න කිරීමට සමාජ බලය එකතු කරගත හැකි වන්නේ. එම නිසා අවසානයේ දෙන පණිවුඩය, හෘද සාක්ෂිය සමග සංවාදය පටන් ගන්නා මොහොතේදී සතුටින් එයට මුහුණදීමට හැකි වපසරියක් බිහිකර ගැනීමට උත්සුක වන්න. එය තමා ජීවිතයෙන් ලබන උපරිම දෙය. එසේ බැරිවන මිනිසා භෞතික වශයෙන් කොපමණ අත්පත් කරගැනීම් කළත්, තමාම පරාජිතයෙකු කරගත්තෙකු වේ. එය තමයි ඔහුට මේ සියල්ල තුළ ලැබෙන අවසන් පරාජය සහ විඳවීම. එකවර මියෙන එක නොව මැරි මැරී ඉපදීමට සිදුවන දෙයයි ඛේදජනක දෙය. එයයි ස්වභාව ධර්මයේ ආශ්චර්යය.

කථිකාචාර්ය කුමුදු කරුණාරත්න
කොළඹ විශ්වවිද්‍යාලය

සංවාද සටහන, ඉෂාන් රම්මික, කොළඹ විශ්වවිද්‍යාලය

Published by: Ranjan De Mel.
www.bhakthiprabodhanaya.org


No comments:

Post a Comment