අද බොහෝ දෙනා ජීවත්ව සිටියදීම තම නාමය බිත්තිවල ලියා ගන්නට, තාප්පවල අලවා ගන්නට, පුවරුවල කොටා ගන්නට උත්සාහ කරති. ගොඩනැගිල්ලක, පාලමක, අලූත් පන්සලක, පල්ලියක, අලූත් මීසම් ගෘහයක තමන්ගේ නම කොටා ගැනීමට දක්වන්නේ පුදුම ආශාවකි. තවකෙක් පොදු ජනතාවගේ මුදලින් ප‍්‍රතිසංස්කරණයේ නාමයෙන් තම නම යොදා බැනර් ගසති. මෙය අන් අය කළත් තමාම කර ගත්තත් මෙයින් ගම්‍යවන ප‍්‍රධානතම සාධකය වන්නේ මිනිසා තුළ තිබෙන නොමැරී ජීවත්වීමට ඇති ආශාවයි.
සමහරු තම සුදු හිසකෙස් කළු කර ගනිති. කළු හිසකෙස් වර්ණවත් කරති. බොරු කොන්ඩ දමති. විච්චූරණ ආලේපන තවරා ගනිති. විලාසිතා වලින් හැඩ වැඩ වෙති. මේ සැම දෙයකින් උත්සාහ කරන්නේ පැහැපත් බවට වඩා නිසි වයස සඟවා, දිගුකල් ජීවත් වීමටයි. තවත් සමහරු දිනපතා ව්‍යායාම කරති. වෛද්‍ය පරීක්ෂණ කරති. පෝෂ්‍යදායි ආහාර ගනිති. අධි පෝෂණයෙන් වැළකෙති. හේතුව මරණයට බියවීමයි. මේ හැමකෙකින්ම ගම්‍ය වන්නේ මරණයේ සත්‍යතාවය ජීවතුන් අතර කොපමණ බද්ධ වී ඇද්ද යන්නය. මරණයට බිය නිසාම බොහෝ දෙනා ලෝකය තුළ ආගන්තුක වෙති. මරණය යන සදාතනික සත්‍යය ජීවිතයට නිතැතින්ම බලපාන බව තේරුම් ගත හැකිය. නමුත් භෞතික රටාව තුළින් මෙම සත්‍යය මදකට අමතක කළ හැකිය. මරණයේ අභියෝගය පිළිගෙන එයට මුහුණ නොදෙන ඕනෑම පුද්ගලයකු මෙම භූමියේ ජීවත් වන්නකු නොව ඔහු ආගන්තුකයෙකි.
දාර්ශනික මාටින් හයිඩෙගර් (Martin Heideyger) මිනිසාව හඳුන්වන්නේ මරණයට නියමවූ සත්ත්වයෙකු ලෙසයි. එහි ප‍්‍රතිඵලයක් ලෙස භීතිය ඇතිවන අතර සමහරු එයින් පලායාමට උත්සාහ කරති. සමහරු අවලංගු බව තුළ (පිරිස් මානසිකත්වය) අතරමං වීමට උත්සාහ කරති. තවත් සමහරු සාමාන්‍ය මතය යන මානසිකත්වය තුළ හෝ අධික කාර්යබහුලභාවය (දෛනික මානසිකත්වය) තුළ එයින් පලායාමට උත්සාහ කරති. මිනිසා මෙවැනි මානසිකත්වයන් මත කියන්නට උත්සාහ කරන්නේ මරණය මා හැර අනෙකෙකුට සිදු වන්නක් ලෙසය. බොහෝ අය නොමැරෙන මිනිසුන් ලෙස ජීවත් වන්නේ මෙම මතය තුළය.
ජේසුස් වහන්සේ කියාදුන් ආදරයේ, පේ‍්‍රමයේ බැඳිම තුළ එළිදැක්වෙන්නේ මනුෂ්‍ය ස්වභාවයේ සදාකාලිකත්ව අත්දැකීමකි. එම අත්දැකීම තුළ මරණය ගැන බිය පසෙකලා කරුණාවන්ත, ආදරවන්ත, පරිත්‍යාගශීලි ජීවිතයකට ස්වාමීන් වහන්සේ ආරාධනා කරයි. (ජොහාන් 15/12-13) එම කැපවීම තුළ, අව්‍යාජ ආදරය තුළින් ඕනෑම පුද්ගලයෙකුට ජීවිතයේ සදාකාලික බව මෙලොව ජීවත්වී සිටියදීම අත්දැකිය හැකිය.එවැනි පුද්ගලයින්ගේ ජීවිත මෙලොව මරණයෙන් අවසන් නොවෙනු ඇත. එබැවින් අප යාච්ඤා කරන කල කියා සිටින්නේ ‘දෙවියනි, ඔබගේ භක්තිමත් ජීවිතය අවසන් වූවා නොව වෙනස් වූවා පමණි’ කියාය.
මෙය මළවුන්ගේ මාසය ලෙස නම් කලත්, ජීවත්වී සිටින අප සැමට මරණයේ යථාර්ථය ගැන කියා දෙන මාසයයි. ජීවිතය මරණයත් සමග අවසන් නොවන බවත්, ජීවත් වී සිටියදීම මරණයත් උත්ථානයත් අත්දැකිය යුතු බව සිහි කරදෙන මාසයකි. මෙම මාසය තුළ ඉටි පහන් දල්වා, දානමාන දී, මිනී වළවල් සුද්ද කළ පමණින් අපට තෘප්තිමත් විය හැකිද? මළවුන් සිහි කිරීමෙන් පමණක් තෘප්තිමත් විය හැකිද? ජීවතුන් වෙනුවෙන් මිය යාමට සූදානම් විය යුතුයි. ජීවතුන් අතර සිටින, මිය ගියවුන් නැගිටවිය යුතුය.
ඔබ අතර නැති, ඔබෙන් වෙන්ව ගොස් සිටින අය ගැන සංවේදී වන්නට උත්සාහ කරනවාට වඩා, ඔබ සමග සිටින සහෝදරයාගේ අවශ්‍යතාවයට සංවේදී වන්න. ජලය ඉල්ලා හඬන අයගේ පිපාසය සිඳලන්නට ඔවුන් හා අත්වැල් බැඳගන්න.. සාධාරණය හමුවේ වෙඩි කා, ගුටි බැට කෑ අය සොයා යන්න… අසාධාරණයට ලක්වූවන් වෙනුවෙන් කතා කරන්න.. ධනවත් පවුල්වල වහල් සේවයට ලක්වූවන් සොයා යන්න…භූමියේ අයිතිය ඉල්ලන්නන් වෙනුවෙන් පෙනී සිටින්න… එවිට මළවුන්ගේ මාසය තුළ ජීවතුන් ලෙස ජීවත් විය හැකිය.
කතුවෑකිය- බ.ප්‍ර / නොවෑම්බර් 2013
Published by: Ranjan De Mel
bhakthiprabodhanaya.org
No comments:
Post a Comment