Sunday, November 24, 2013

වත්මන් අධ්‍යාපනික රටාව තුළ කතොලික ගුරුවරයාගේ භුමිකාව......


ජාත්‍යන්තර ගුරු දිනය ඔක්තෝබර් මස 06 වන දිනට යෙදී ඇත. මෙවන් ගුරු දිනයක් පැවැත්වීමට දිනයක් වෙන් කිරීම සඳහා මුල් වූ හේතු කාරණා අතර ප‍්‍රමුඛ වු කරුණක් වන්නේ ලොව පුරාම ගුරුවෘත්තියට ලබා දී ඇති අති ශ්‍රේෂ්ඨත්වයයි. මනා පෞර්ෂයකින් හෙබි පුද්ගලයන් බිහිකි රීමටද, මනුෂ්‍යයාට ජීවත්වීමට සුදුසු සමාජයක් ගොඩනැගීමටද, රටක සංවර්ධනය සඳහා ගුරුවරයාගෙන් සිදුවන කාර්යය අති ශ්‍රේෂ්ඨය. ගුරුවරයා මෙම කාර්යය සිදුකරන්නේ අධ්‍යාපන පද්ධතිය තුළ වන අතර, අධ්‍යාපන පද්ධතිය, වෙනස් වන සමාජ රටාවන් හමුවේ විවිධ හැල හැප්පීම් වලට භාජනය වෙමින්, දිනෙන් දින සංකීර්ණ තත්වයකට පත්වේ. සාමාජයක් දියුණුවට පත්වන්නේ අධ්‍යාපනය නිසා වන අතර දියුණු සාමාජයක් ගොඩනැගීමට නම් රටක අධ්‍යාපනය දියුණු කිරීම අත්‍යවශ්‍ය වේ. දියුණු වන අධ්‍යාපන රටාවකට ගැළපෙන ලෙස සකස් වෙමින් සමාජ අවශ්‍යතා සම්පූර්ණ කිරීම ගුරුවරයාට ඇති ප‍්‍රබල අභියෝගයකි. ඉතා දියුණු තත්ත්වයක පවතින අධ්‍යාපනයක් සංකීර්ණ වූ සාමාජයක විවිධ හැලහැප්පීම් මැද ජීවත්වන සාමාජයක දරුවන්ට ලබා දීම පහසු කාර්යක් නොවේ. ඒ සඳහා සුදුසු මට්ටමකට තමාව ගොඩනැගීමට ගුරුවරයාට අති ප‍්‍රබල අභියෝගයකි.


සිසුන්ට ඉගැන්වීම සඳහා පාඩම් සැළසුම් කිරීමේදී ගුරුවරුන් මෙහෙය වූ ආකල්ප වුයේ ගුරුවරයා විසින් සිසුවාව දන්නා දෙයින් නොදන්නා දෙයටත්, සරල දෙයින් සංකීර්ණ දෙයටත්, පෙනෙන දෙයින් නොපෙනන දෙයටත්, ගෙන යා යුතු අතර උදාහරණ රහිත පැහැදිළි කිරීමක් සිදුනොකල යුතු බවය. පාඩම සැළසුම් කිරීමේදී මේ කාරණා සම්පූර්ණ වන්නේ නම් ඉගැන්වීම සඳහා අවශ්‍ය පුර්ණ සුදානම ඉතා සාර්ථක බවය. මෙහිදී සිසුන් අතර ඇති විවිධත්වය සැළකිල්ලට නොගැනිණි. සියලූම සිසුන් එක හා සමානය යන පදනමක් මත පිහිටා ඉගැන්වීමේ කටයුතු සංවිධානය කෙරුණි. අධ්‍යාපනය දරුවාට ගැළපෙන ලෙස නම්‍යශීලිව සකස් කරනවාට වඩා දැඩි ලෙස රාමු ගත සැළැස්මකට ගැලපීමට දැරුවාව වෙනස් කිරීම මෙහිදි සිදුවිය.මෙහිදි ගුරුවරයාගේ කාර්යභාරය වුයේ විභාග පදනම් කරගත් මිනුම් දඬුවල මට්ටමට දරුවා ගෙන ඒමය.ගුරුවරයා සියල්ල දත් පුද්ගලයකු ලෙසද, සිසුවා කිසිවක් නොදත් කෙනෙකු ලෙසද, හැඳින්වූ මෙම අධ්‍යාපන ක‍්‍රමයේදී බලාපොරොත්තු වුයේ ගුරුවරයා සතු දැනුම ක‍්‍රමානුකූල රටාවකට අනුව දරුවාගේ මනස තුළට පිරවීමය. මෙවැනිි රාමුවක් තුළ ගොඩනැගුන සම්ප‍්‍රදායක අධ්‍යාපන ක‍්‍රම  ”Jug MugTheory ” හෙවත් ජෝගුව සහ කෝප්පය න්‍යාය ලෙස හඳුන්වනු ලැබීය. මෙහිදී ගුරුවරයා දැනුම පිරි ජෝගුවක් ලෙස හැඳින් වු අතර හිස් කෝප්පයක් ලෙස හඳුන්වනු ලැබූ දරුවාට සරිලන ප‍්‍රමාණයත් ගුරුවරයා සතු දැනුම් සම්භාරයෙන් ලබා දීම සිදුවිය.

මෙම ක‍්‍රමය තුළ පන්ති කාමරය තුළ ඉගෙනුම්, ඉගැන්වීම් ක‍්‍රියාවලිය ඊට අනුරූපීව සකස් විය. පන්ති කාමරය දේශන ශාලාවක් වු අතර ගුරුවරයා විසින් දේශන ස්වරූපයෙන් ඉගැන්වීමේ යෙදෙන අතර, සිසුන් නිශ්චලව සවන් දෙන්නන් වු අතර ඉගෙනීම සඳහා ඔවුන්ගේ සකී‍්‍රිය දායකත්වයක් නොවීය. විනය ප‍්‍රධාන ලෙසම පදනම් වුයේ තම සහෝදර සිසුන්ට බාධා නොවන ලෙස නිශ්ශබ්දතාවය පවත්වාගෙන යාමත් වේලාවට පාසැලට පැමිණීම හා පාසලේ දී පන්තිය මඟ හැර විවිධ ස්ථානවල නොගැවසීමය.



එක්තරා අවධියකදි පැවති සාමාජ රටාවට මෙම අධ්‍යාපන ක‍්‍රමය ගැළපුන අතර එම ක‍්‍රමයට අනුකූලව ගුරුවරයා ස්වකීය කාර්යභාරය ඉටුකරමින් එම සමාජ ව්‍යුහය පවත්වාගෙන යාමට අනුපමේය මෙහෙවරක් ඉටුකළ බව අප විසින් බැහැර නොකළ යුතුය. එහෙත් කාර්මීක විප්ලවය ද ඉක්මවා යමින් තාක්ෂණය විසින් විශේෂයෙන්ම සන්නිවේදන හා ප‍්‍රවාහන ක්ෂේත‍්‍රයන්හි ඇති කල විප්ලවය හේතු කොටගෙන, සුවිශාල පරිවර්තනයකට භාජනය වු වත්මන් ලෝකය තුළ සාම්ප‍්‍රදායික ඉගෙනුම්, ඉගැන්වීම් ක‍්‍රියාවලිය මුල් කරගත් අධ්‍යාපන ක‍්‍රමයකට පුද්ගල චර්යාවන් ඇඹිම සහ සමාජය නිර්මාණය කිරීමේ කාර්යභාරය ඉටුකිරීමේ ප‍්‍රමාණවත් හැකියාවක් තිබේද යන්න විමසා බැලිය තාක්ෂණයේ දියුණුව විසින් නිර්මාණය කර ඇති ගෝලීය ගම්මානය තුළ නව මිනිස් සමාජයක් නිර්මාණය වෙමින් පවති. මෙම නව සමාජය, දැනුම මත පදනම් වී ඇති අතර එහි කො`දු නාරටිය වී ඇත්තේද දැනුම මත පදනම්වු ආර්ථිකයකි. මේ හේතුකොටගෙන මෙම නව ගෝලීය ගම්මානය තුළ දැනුම අධික මිල ගණන්වලට තක්සේරුවේ. මෙම වාතාවරණය තුළ දැනුම වෙනස් වන දෙයකට වඩා පුපුරා යන දෙයක් ලෙස අද නම් කරනු ලබන්නේ එහි දිනෙන් දින වෙනස්වීමේ සීඝ‍්‍රතාවය නිසාමය. මේ නිසා දැනුම එක් අවස්ථාවකදී මිළදී ගෙන සෑහීමකට පත්විය නොහැකි වන අතර එය දිනෙන් දින මිලදී ගැනීමට සිදුවී ඇත. මෙවැනි තත්වයක් තුළ ගුරුවරයාගේ කාර්යභාරය දැනුම අලෙවි කරන්නෙකුගේ තත්ත්වයට පත්වීම වැළැක්විය නොහැක. දැනුම අලෙවි කිරීම අධිකතර ලාභ ඉපයීමේ මාර්ගයක් හෙයින් තම කාර්යභාරය මෙවන් පටු සීමාවකට සීමා කිරීමට ද ගුරුවරයා පෙළඹවීමකට අධ්‍යාපන වෙළ`ද ආයතන වලට හැකියාව ඇත. එවැනි පසුබිමක් තුළ ගුරුවරුන් ලෙස ඔවුන්ට පැවරී ඇති උතුම් කාර්යභාරය තුළ ඔවුන් රදවා තබා ගැනීම මහඟු සමාජ අවශතාවයකි. ගුරුවරයාගේ කාර්්‍යභාරය බුද්ධිමතෙකු ගොඩනැගීම යන සීමාවෙන් ඔබ්බට යන අතර පූර්ණ මනුෂ්‍යයෙකු ගොඩනැගීම ඔහු හෝ ඇයගේ අභියෝගය වේ. පුර්ණ මනුෂ්‍යයෙකු ගොඩනැගීම බුද්ධිමතෙකු ගොඩනැගීමට වඩා දුෂ්කර කාර්යයකි. එහිදි පෙනී යන ප‍්‍රධාන කාරුණක් වන්නේ ගුරුවරයාට තමන් උගන්වන විෂය පිළිබඳව හසල දැනුමක් තිබීම හොඳ ගුරුවරයෙකුු වීම සඳහා ප‍්‍රමාණවත් නොවේ. මේ පිළිබඳව ඇති ප‍්‍රචලිත කියමනක් නම් ‘ජෝන්ට ලතින් භාෂාව ඉගැන්වීමට ගුරුවරයා ලතින් භාෂාව දැනගෙන සිටීම පමණක් ප‍්‍රමාණවත් නොවේ. ගුරුවරයා ජෝන්වද දැන සිටිය යුතුය.’ ගුරුවරයා උගන්වන්නේ ළමයාට නම් ඔහු ළමයාව ද දැන සිටීම අවශ්‍ය වන බව මෙයින් අදහස් වන අතර ළමයා පිළිබඳව තිබිය යුතු දැනුම පැති දෙකකින් පෙන්විය හැක. ඉන් පළමු වැන්න නම් දරුවකුගේ කායික හා මානසික වර්ධනය හා එහි අවධීන් පිළිබඳව ගුරුවරයා තුළ තිබිය යුතු මනෝවිද්‍යාත්මක දැනුම වන අතර දෙවැන්න නම් එක් එක් දරුවා ජීවත්වන පවුල් හා සමාජ පරිසරයට අනුරූපීව එක් එක් දරුවා පිළිබඳව ගුරුවරයා තුළ තිබිය යුතු දැනුම වේ.


මහා දාර්ශනික ප්ලේටෝගේ ඉගැන්වීම වූයේ මිනිස් ස්වභාවය නිසි ලෙස නොදත් කෙනෙකුට ගුරුවරයෙකු විය නොහැකි බවයි. මිනිස් ස්වභාවය යනු කුමක් ද යන්න ප්ලේටෝ ඔහුගේ ‘ජනරජය’ නැමැති ග‍්‍රන්ථයෙහි පෙන්වා දෙයි. විශිෂ්ඨ අධ්‍යාපනඥයකු වන රූසෝ ද ඔහුගේ කාලයේ දී ඉගැන්වීමේ යෙදුන බොහෝ දෙනෙක් මනෝවිද්‍යාත්ම න්‍යායන් භාවිතයෙන් තොරව අධ්‍යාපනයේ යෙදෙන බව තමා නිරීක්ෂණය කළ බව පෙන්වා දෙයි. රූසෝගේ අනුගාමිකයෙකු වන පෙස්ටරෝසි ද පෙන්වා දෙන් නේ අධ්‍යාපනයේ පරමාර්ථය වන් නේ දරුවාගේ වර්ධනය වන අතර මෙම කාර්යය ඉටු කිරීමේදී ගුරුවරයා විසින් දරුවාගේ මනස කි‍්‍රයාකරන ආකාරය පිළිබ`දව ප‍්‍රමාණාත්මකව දැන සිටිය යුතු බවය.


මොන්ටිසෝරි ක‍්‍රමයේ නිර්මාතෘවරිය වන මාරි මොන්ටිසෝරි මහත්මියද තරයේ විශ්වාස කල දෙයක් නමි දරුවා අවබෝධ කර ගැනීමට ප‍්‍රමාණවත් මනෝ විද්‍යාත්මක දැනුමක් නොමැති අයෙකුට සාර්ථක ගුරුවරයෙකු විය නොහැකි බවයි. රූසෝ විසින් ඇරඹු ස්භාවවාදී සංකල්පය මගින් ගුරුවරයාට, පාසලට, පොතට, පතට හෝ විෂයට වඩා අධ්‍යාපන ක්ෂේත‍්‍රයේ මුලිකත්වය ළමයාට හිමි වන අතර ළමා ස්වභාවය කිසිසේත්ම නොසලකා හැර දරුවාට අධ්‍යාපනය ලබා දිය නොහැක. ළමයාගේ මානසික කි‍්‍රයාකාරීත්වය පිළිබදව අවබෝධ කරගැනීමේ හැකියාවක් තිබීම සාර්ථක ගුරුවරයෙකු වීම සදහා අත්‍යාවශ්‍ය කාරණයකි.


අධ්‍යාපනයේ දී මීළගට වැදගත් සාධකය වන් නෙ පරිසරයයි. අධ්‍යාපනය ලබන දරුවාගේ පවුල් පසුබිම, සමාජ පරිසරය දරුවාගේ ජීවිතය හා සමග ඉතා තදින් බැදී පවතින බව සත්‍යයකි. දරුවා තමන් ජීවත්වන පරිසරයෙන් ඉවත්වී පාසල් පරිසරයට පිවිසියද දරුවා තමාගේ පවුල් හා සමාජ පරිසරය තමා සමග පාසල් පරිසරයට හා පන්ති කාමරයට ගෙන එන බව අමතක නොකල යුතුය. එහෙයින් දරුවාට ඉගැන්විමෙහි කාර්යයෙහි යෙදන ගුරුවරයාට තමා උගන්වන සිසුවා තේරුම් ගත හැකිවන්නේ ඔහු ජීවත් වන පරිසර රාමුව තුළය.දරුවාගේ ගති පැවතුමි, ආකල්ප හා චර්යාවන් නිරික්ෂණය කරන ගුරුවරයාට ඒ තුළින් ඔහුගේ හෝ ඇයගේ පරිසරය තේරුම් ගැනීමට හැකි විය යුතුය. දරුවාගේ ඉගෙනීමේ දුර්වලකම හා අනෙකුත් කි‍්‍රයාකාරීත්වයන් හීදී පසුගාමී බවට හේතු ඔහුගේ / ඇයගේ සමාජ පරිසරයේ ඇති ගැටළු නම්, ඒවායින් දරුවා ගොඩගැනීමට,ගුරුවරයාට දරුවාගේ සමාජ පරිසරය විනිවිද දැකීමේ හැකියාව වැදගත් වේ. බොහෝ විට දෙමව්පියන්ගේ ආර්ථික හා සමාජ තත්ත්වයන් අනුව ළමුන් වෙනස්වන බව පෙනී යයි. වාසය කිරීමට සුදුසු නිවසක් නොමැතිකම, ඇදුම් පැළදුම් නොමැතිකම, පෝෂ්‍යදායි ආහාර නොමැතිකම,දෙමාපියන් වෙන්ව සිටීම හා පවුලේ අඩ දබර ආදිය ළමයා කෙරෙහි බලපානු ඇත.


පරිසරය කෙරෙහි මහත්සේ විශ්වාස කළ අධ්‍යාපනඥයෙකු වන රූසෝ ප‍්‍රකාශ කළේ ළමයා ස්වභාවයෙන්ම යහපත් බවත්, ඔහු නරක්වන්නේ පරිසරය නිසා බවත්ය. පරිසරය විසින් බිඳ දමනු ලැබූ ළමුන්ගේ ජීවිත ගොඩනැගීමේ මහගු අභියෝගයට මුහුණ දෙන්නේ ගුරුවරයාය. පාසලේදී යහපත් දේ ඉගෙන ගන්නා ළමයා පාසල හමාර වීමෙන් පසු ආපසු යන්නේ අයහපත් දේ අත්දකින සමාජයටමය. ළමයා ජීවත් වන අයහපත් සමාජය වෙනස් කිරීම ගුරුවරයාට කළ නොහැකි වුවද පාසල තුළ යහපත් පරිසරයක් දරුවාට ගොඩනගා දීම ගුරුවරයාට කළ හැක. ළමුන් පාසලට ගෙන්වා ගැනීමටත්,ඔවුන් පාසලේ රඳවා ගැනීමටත් දුෂ්කර වන තරමට පාසල් පරිසරය දුර්වල වුවහොත් දරුවාගේ ජීවිතය ගොඩනැගීමට වෙනත් ස්ථානයක් නොමැති වනු ඇත.


නූතන අධ්‍යාපනික රටාව තුළ සේවය කරන ගුරුවරයාට මීළඟට ඇති අභියෝගය නම් යාවත්කාලීන වීමයි. අධ්‍යාපන පද්ධතිය අද වන විට එදාට වඩා සීඝ‍්‍ර වෙනසකට භාජනය වී ඇත. දැනුම කේන්ද්රීය සමාජයක ජීවත් වන මිනිසුන් නිරන්තරයෙන් තම දැනුම අළුත් කර ගන්නා යුගයක ගුරුවරයාට පසුගාමී තත්ත්වයක විසිය නොහැක. පැරණි සමාජය තුළ වැඩිපුරම පොතපත පරිශීලනය කළේ ගුරුවරුන් හෙයින් දැනුම අතින් ඉදිරියටම සිටියේ ඔවුන් වූ අතර දැනුම ලබා ගැනීමට නම් ඕනැම කෙනෙකුට පන්ති කාමරයට යාමට සිදුවිය. එහෙත් අද දියුණු වී ඇති තාක්ෂණය විසින් දැනුම සෑම කෙනෙකුගේම නිවසට පමණක් නොව පුද්ගලයෙකු මහපාරේ ගමන් කරන විට ඔහුගේ සාක්කුවේ ඇති ජංගම දුරකථනයෙන්ද දැනුම ලබා ගත හැකි වන පරිදි මෙවලම් සකස් වී ඇත. මෙලෙස අධික වේගයෙන් දැනුම ජනනය වීම හා එලෙස ජනනය වන දැනුම ක්ෂණිකව ඕනෑම ස්ථානයකදී බෙදා හැරීමට හැකිවන ලෙස සන්නිවේදන ජාලයන් ගොඩනැගී ඇති යුගයක දැනුම ලබා දෙන්නෙකු ලෙස අන් අයට වඩා ඉදිිරියෙන් සිටීමට ගුරුවරයාට ඇත්තේ අභියෝගයකි. සමහර විට ගුරුවරයා පන්ති කාමරයට යන විට අදාල විෂය ගැන ගුරුවරයා නොදන්නා කරුණු අන්තර්ජාලය ඔස්සේ ශිෂ්‍යයන් විසින් ලබාගෙන ඇත. ක්ෂණිකව පුපුරායන දැනුම ග‍්‍ර හණය කර ගැනීමට නම් , අනිවාර්යෙයන්ම ගුරුවරයාට තාක්ෂණය භාවිතය පිළිබදව මනා අවබෝධයක් තිබිය යුත්තේ අද වන විට අධ්‍යාපනයේදී තාක්ෂණය ඉතා වැදගත් හෙයිනි. බොහෝ සිසුන් තමා අතෙහි ඇති ජංගම දුරකථනය භාවිතයෙන් අන්තර්ජාලයට පිවිස පන්ති කාමරයේ උගන්වන විෂය පිළිබද කරුණු ගොනුකර ගැනීමට දක්ෂ හෙයින් අද වන විට දැනුම ලබා ගැනීමට ඇති එකම මාර්ගය ගුරුවරයා නොවන හෙයින් ගුරුවරයා අනවශ්‍ය යැයි හැගේන තත් වයට පත් විය හැක.එහෙයින් පන්ති කාමරය තුළ විෂය මාලාවකට කොටු වී නිශ්චිත විෂය කරුණු පමණක් ඉගැන්වීමෙන් සැහීමකට පත්වනවාට වඩා ඉගැන්වීමේ නවීන ශිල්ප ක‍්‍රම භාවිතා කරමින් ඉගැන්වීමට නොව ඉගෙනීමට සිසුන් මෙහෙය වීමෙන් නව ගුරු භුමිකාවට පිවිසිය නොහැකි නම් ගුරුවරයාට නවීන අධ්‍යාපනයට තමාව ගලපා ගැනීමට නොහැකි වනු ඇත.

අධ්‍යාපනය නැමැති සංකල්පය තුළ, ගුරුවරයා ප‍්‍රමුඛ සාධකයක් වන අතර මේ නිසාම ගුරුවරයා තුළ ඇති දැනුම, ආකල්ප, කුසලතාවය, උද්යෝගය හා කැපවීම, රටක, ජාතියක හෝ පුද්ගලයෙකුගේ සංවර්ධනය සදහා කරණු ලබන කැපවීම සුළු පටු නොවේ. මේ නිසාම ගුරුවරයා තුළ ඇති ධනාත්මක ගුණාංග මතුකොට විකසිත කිරීම මගින් ගුරුවරයා තුළ ආත්ම අභිමානයක් හා සැබෑ උනන්දුවක් මතුකළ හැක. සාධක සමුහයක බලපෑම නිසා මෙන්ම, ඒ ඒ පුද්ගලයා තුළ ඇති සුවිශේෂ ගුණාංගවලද හේතු සාධක හා බලපෑම් නිසා සෘණාත්මක ගති ලක්ෂණ පෙන්නුම් කරන ගුරුවරුන් ගුරු බල ඇණිය තුළ සිටී. එම ගුරුවරුන් නිසා සිසුනට මෙන්ම අධ්‍යාපන පද්ධතියටම සිදුවිය හැකි හානිය සුළු පටු නොවේ. එවන් ගුරුවරුන එම තත් වයෙන් ගො ඩගෙන ධනා ත් මක ගු රු පෞරුෂයකින් හෙබි පුද්ගලයන් බවට පත් කිරීමට ඔවුන්ගේ පෞද්ගලික හේතු සාධක හදුනාගෙන, ඒවාට ප‍්‍රතිකර්ම ලබාදීමේ වැඩ පිළිවෙලක් තිබිය යුතුය. එපමණක් නොව, පොදුවේ සමස්තයක් ලෙස ගුරු පරපුරේ ආත් මාභි මානය නැංවීම සඳහා වැඩ පිළිවෙලක් තිබිය යුතුය. වෙනස්වී ඇති අධ්‍යාපන රටාව තුළ ඇති අභියෝගයන්ට මුහුණ දි හැකි ගුරු පෞරුෂයක් ගොඩනඟා ගැනීම ගුරුවරයාට තනිවම කළ හැකි කාර්යයක් නොවේ. ඒ සදහා රජයත්, අමාත්‍යංශයත්, ඉහල නිළධාරීනුත්, මහජනතාවත්, ජනමාධ්‍යත් ඒකාබද්ධව ගුරුවරයාට සහය දිය යුතුය. ගුරුවරයා කරන සේවයට සරිලන වැටුපක් ලබා දිමටද දේ ශපාලනඥයන් හමු වේ ගු රුවරයා හැල් ලූවීම වැළැක්වීමටද කටයුතු කළ යුතුය. සැබවින්ම ඉතා සංකීර්ණවී ඇති අධ්‍යාපන ක‍්‍රමයේ අභියෝගයන්ට මුහුණ දීමට හැකිවන ලෙස තම ගුරු පෞරුෂය ගොඩනැගීම ගුරුවරයාට වඩාත් පහසුවන්නේ ඒ සදහා සියල්ලන්ගෙන් ලැබෙන සහයෝගය මතය.

ගරු රංජිත් මදුරාවල පියතුමා
අගරදගුරු පදවි කතෝලික පාඨශාලා සාමාන්‍යාධිකාරි

Published by: Ranjan De Mel.
www.bhakthiprabodhanaya.org



No comments:

Post a Comment