Sunday, November 24, 2013

මරණය සත්‍යයේ මොහොතයි……


මරණය ගැන ගැඹුරු මෙනෙහි කිරීමක් නොකර මිනිස් ජීවිතයේ සැබෑ ස්වභාවය ගැන නිවැරදි සහ ගැඹුරු අවබෝධයක් ලැබිය නොහැකිය . මරණය ගැන මෙනෙහි කිරීමෙන් පලා යෑම යනු ජීවිතයෙන්ද පලායෑමකි. මරණයෙන් පැන යෑමට උත්සාහ කරන්නා එයට මුහුණ දීමට සූදානම් නොවන්නා සැබෑ ලෙසට ජීවත් නොවේ. ජීවිතයේ යථාර්ථයට මුහුණදීම යනු අපගේ මැරෙන සුළුභාවයට මුහුණදීමයි. මරණය නමැති යථාර්ථය සමග අප අරගල කරන තුරු ජීවිතය පිළිබඳව විදග්ධ දැක්මක් සහ දැනුමක් අපට ලබාගත නොහැකිය. බොහෝ මානසික රෝගවලට මූලික හේතුව නම් මරණයෙන් පලායෑමට දරන ප‍්‍රයත්නයයි . මානසික සුවය සහ ආධ්‍යාත්මික තෘප්තිය සහිත දිවියක් ගත කිරීම සඳහා මරණයේ මිතුරෙක් බවට පත්විය යුතුය.




සිය දිවි නසා ගත යුතු බව මින් කිසිසේත්ම අදහස් නොවේ. මරණයේ කල්‍යාණ මිතුරෙක් බවට පත්වෙන්නා මරණයට අනවශ්‍ය ලෙස බිය නොවේ. එමෙන්ම මරණය විසින්ද එවැනි පුද්ගලයන්ව අනවශ්‍ය ලෙස බිය වද්දවනු ලබන්නේද නැත. මරණය ජීවිතයේ රහස විවෘත කරන යතුරයි. දිනපතාම මරණයට සූදානම් වෙන තැනැත්තා ඉතා යහපත් ව දැහැමිව නිහතමානිව සාධාරණව, සංවේදීව,කරුණාබරිතව, සාමකාමීව, අවංකව සහ ප‍්‍රඥවන්තව ජීවත්වීමට උත්සාහ කරන්නෙකි. යහපත්ව සහ ධර්මිෂ්ඨව ජීවත්වීම සහ අර්ථාන්විතව මියයෑම එකම කාසියේ පැති දෙක නිසා මරණය ගැන මෙනෙහි නොකිරීම ජීවිතයට කරනු ලබන සුවිශාල හානියකි. අසාධාරණයකි. සැබැවින්ම ජීවමානව පවතින්නේ මිය යා හැකි දේවල් පමණි. මිනිසුන් ජීවිතයට යම් පමණකින් හෝ ආදරය කිරීමට හේතුව එය කවදා හෝ දිනයක අවසන් වන නිසයි. අවසානයක් නොමැති කිසිම දෙයක් මිනිසුන් විසින් අගය නොකරනු ලබයි. සෑම යහපත් දෙයකටම අවසානයක් පවතින්නේ එ් නිසාය. ජීවිතය අපට කවදා හෝ දිනයක අහිමිවන බව තව තවත් අවබෝධ වන විට එහි වටිනාකම වැඩියි. ජීවිතය කෙරෙහි තව තවත් වගකීමෙන් කටයුතු කිරීමට අපව පොළඹවයි. තල්ලූ කරයි. මරණය වඩා යහපත් දිවියක් ගත කිරීමට අපව ධෛර්යමත් කරයි.


සෑම මොහොතක්ම මරණයේ මොහොත විය හැකිය. ඕනෑම මොහොතක මරණය අපව බැහැ දැකීමට පැමිණිය හැකිය. ජීවිතයේ සෑම මොහොතක්ම අර්ථවත් මොහොතකි. එම අර්ථවත් මොහොත රඳා පවතිනුයේ අතීතයේ හෝ අනාගතයේ හෝ නොව මේ මොහොතේය. දෙවියන් වහන්සේ ජීවමානව වැඩ සිටින්නේ මේ මොහොතේය. මේ මොහොත තරම් වටිනා මොහොතක් තවත් නැත. මරණය ජීවිතයට සේවය කරයි. මරණය නමැති යථාර්ථය නොපවතී නම් මේ ලෝකය මීට වඩා කෲර වීමට ඉඩ තිබුණි. දෙවියන් වහන්සේට මරණයෙන් සේවයක් ලබාගත හැකිය. මරණය දෙවියන් වහන්සේගේ සේවකයෙකි. මරණය තුළින් පවා උන් වහන්සේ තම සැලැස්ම ක‍්‍රියාවට නංවන සේක. අප අතිශයින්ම යහපත් සහ ප‍්‍රයෝජනවත් ජීවිතය් මෙලොවේදී ගත කළ යුතු බව මරණය අපට නිරන්තරයෙන්ම මතක් කර දෙයි. මරණය අපව තව තවත් නිහතමානි කරයි. මරණය කෙරෙහි අප තුළ පවතින අනවශ්‍ය භීතිය පැමිණෙන්නේ ජීවිතය යහපත්ව සහ අර්ථවත්ව ගත කිරීමට අප අසමත් වූ විටය.


වඩා අර්ථවත්, වඩා යහපත් සහ වඩා දැහැමි ජීවිත ගත කරන්නන් තුළ පවා මරණ බිය පවතින බව ඇත්තකි. එහෙත් එය ඔවුන්ව අඩපණ කරවන අක‍්‍රීය කරවන, බෙලහීන කරවන, අධෛර්යවත් කරවන භීතියක් නොවේ. එම භීතිය ජීවිතය තව තවත් ආදරය කිරීමට පොළඹවන භීතියකි. ජීවිතයට සේවය කරන ජීවිතය වඩා අර්ථාන්විත කරන භීතියකි. ජීවිතයට ආදරය කරන්නා මරණයටද ආදරය කරයි. ජීවිතයට වෛර කරන්නා මරණයටද වෛර කරයි. සමහරුන් සිය දිවි නසා ගන්නේ ජීවිතය කෙරෙහි ඇති වෛරය නිසයි. ජීවිතයට සැබැවින්ම ආදරය කරන්නා කොතරම් දුෂ්කරතා පරාජ ව්‍යසන, දුර්භාග්‍යය, අසා ර්ථකත් වය බලාපොරොත්තු සුන්වීම් මධ්‍යයේ වුවත් සිය දිවි නසා ගැනීමට තැත් නොකරයි. සිය දිවි නසා ගැනීම මරණයට වෛර කිරීමකි. එනම් සිය දිවි නසා ගැනීම ස්වභාවික මරණය ඉවත් කිරීම දරන උත්සාහයකි. ස්වභාවික මරණයට වෛර කරන්නා ජීවිතයට ආදරය නොකරන්නෙකි.


අප මිය යා යුතු මොහොත, ස්ථානය සහ ආකාරය අපටම තීරණය කළ නොහැකිය. එසේ කිරීමට තැත් කිරීම දෙවියන් වහන්සේගේ භූමිකාව අනුකරණය කිරීමට උත්සාහ දැරීමකි. සියලූම දේවල් රඳා පවතින්නේ දෙවියන් වහන්සේගේ ශ‍්‍රීහස්තය මතයි. සිය දිවි නසා ගැනීම දෙවියන් වහන්සේට එරෙහිව කරනු ලබන පාපයකි. ජීවිතයට ආදරය කරන්නා එහි මැවුම්කරුවාණන්ටද ආදරය කරයි. උන්වහන්සේට ආදරය කිරීම යනු උන්වහන්සේ තුළ පූර්ණ විශ්වාසය තැබීමයි. එනම් අපගේ ජීවිතයේ අවසාන මොහොත ගැන අපගේ මැවුම්කරුවාණන්ට තීරණ ගැනීමට ඉඩ හැරීමයි. අපගේ ජීවිතයේ සෑම මොහොතක්ම උන් වහන්සේ විසින් මෙහෙයවනු ලබයි නම් ජීවිතයේ අවසන් මො හොතත් උන්වහන්සේ විසින් මෙහෙයවනු ලබන සේක. මරණය විසින් අපගේ සියලූම අරගල, ක‍්‍රියාවන් ,ජයග‍්‍රහණ, සැලසුම්, ව්‍යාපෘතීන්, මානව සබඳතා යනාදිය පරිපූර්ණත්වයට පත් කරනු ලබයි. අපි දෙවියන් වහන්සේව සොයා යන ගමනේ තීරණාත්මක මොහොත මරණයයි. ක‍්‍රිස්තියා නි විශ්වාසයේ අවසාන සහ දුෂ්කරම පියවර මරණයයි.


එහෙත අතිශයින්ම වැදගත් පියවර වන්නේද මරණයයි . මගේ සැබෑ චරිතයගැඹුරුතම පෞරුෂත්වය හෙළිදරව් වනුයේ මාගේ මරණයෙන් පසුවය. මම කවුද යන්න නියමාකාරයෙන් මිනිසුන් තේරුම් ගැනීමට පටන් ගන්නේ මාගේ මරණෙ යන් පසු වය. අප විසින් රහසි ගතව කරනු ලබන සියලූම ක‍්‍රියාවන් මරණයෙන් පසුව එළියට පැමිණෙයි . මරණය විශ් වාසයේ බලාපොරොත්තුවේ සහ ආදරයේ තුන් පිම්මකි. අප දිනපතාම මරණයට සූදානම් නොවුවහොත් එ් ගැන ඉතා අවංකව සහ විවෘතව මෙනෙහි නොකළහොත් අවසානයේදී මරණය පැමිණෙන විට එය ඉතා භයානක, ශෝකජනක, ඛේදජනක සහ අතිශයින් පීඩාකාරී අත්දැකීමක් විය හැකිය. මරණය යනු තීරණයකි. (Deth is a decision) ඉන් අදහස් වන්නේ අපගේ මමත්වයට, කුහකකම්වලට , ආත්මාර්තකාමීත්වයට, ද්වේශයට, පළිගැනීමේ චේතනාවලට දරුණු සිතුවිලි වලට යනාදියට දෛනිකව මිය යෑමෙන් අවසාන තීරණාත් මක මොහොතක සූදානම්වීමය. එවැනි සිතිවිලි සහ හැසිරීම් රටාවලින් නිදහස්වීම සුළු ප‍්‍රමාණයේ මරණයේ අත් දැකී මකි .එවැනි සුළු මරණ අපව තව තවත් යහපත් පුද්ගලයන් කරනවා පමණක් නොව අවසාන තීරණාත්මක අවස්ථාව සඳහා අපව පුහුණු කරයි. ඉහත කී ආකාරයේ සුළු මරණයන්ට බිය පුද්ගලයා හරියාකාරව ජීවත් නොවන පුද්ගලයෙකි. එම පුද්ගලයා දිනපතාම මැරි මැරී උපදියි. ඔබට වඩා අර්ථවත් වඩා යහපත්, වඩා දැහැමි, වඩා ගුණාත්මක, වඩා තෘප් ති මත් , වඩා සතු ටු දායක සහ ප‍්‍රඥවන්ත ජීවිතයක් ගත කිරීමට අවශ්‍ය නම් මරණයට දෛනිකව සූදානම් වන්න. එවිට ඔබ සමස්ත මානව සංහතියටම ආශිර්වාදයක් වනු ඇත.

මහාචාර්ය ඇන්ටන් මීමන

Published by: Ranjan De Mel
www.bhakthiprabodhanaya.org

No comments:

Post a Comment