Sunday, November 24, 2013

යහපත් පවුල් දිවියක් සඳහා ප‍්‍රීතිය කොතෙක් දුරට දායක වේද?….


ශුද්ධවූ පාවුලූ තුමා ගලාතිවරුනට ලියු ලිපියේ පස්වෙනි පරිච්ඡෙදයේ 22 සිට 23 වගන්තිවල මෙලෙස සඳහන් වේ.එහෙත් ආත්මයාණන් කරණ කොටගෙන ඇතිවන ප‍්‍රතිඵල නම්: පේ‍්‍රමය, ප්‍රිතිය, සාමය, ඉවසීම, කරුණාව, යහපත්කම, විශ්වාසකම, මෘදුකම හා ආත්ම දමනය යන මේවාය.’ මෙම ගුණාංග සාමාන්‍ය ව්‍යවහාරයේදී ශුද්ධාත්ම ඵල ලෙස හඳුන්වනු ලැබේ. අපි පසුගිය මාසයේ පවුල් පලස තුළින් පවුල් දිවිය සඳහා ‘පේ‍්‍රමය’ හි ඇති වැදගත්කම ගැන අවධානය යොමු කරන්නට උත්සාහ කළෙමු. මේ ලිපිය මගින් ප‍්‍රීතිය හා පවුල් දිවිය අතර ඇති සබඳතාවය ගැන සාකච්ඡා කරමු. ප‍්‍රීතිය යනු හුදෙක් මානුෂික හැඟීමක් නොව ඇතුළාන්ත ජීවිත ගුණාංගයකි . මූලිකව මේ ඇතුළාන්ත ගුණාංගය පිරිසිදුව කෙනෙකුගේ ජීවිතය තුළ අත්දැකිය හැක්කේ දෙවියන් වහන්සේ විශ්වාස කොට දැන ගැනීමෙන් හා උන්වහන්සේ මෙතුවක් කල් කෙනෙකුට දානය කර ඇති වරප‍්‍රසාද හා ඉදිරියේ දී දානය කරන්නාවූ වරප‍්‍රසාද ගැන කල්පනා කොට මෙනෙහි කිරීමෙනි. මෙම ප‍්‍රීතියේ උච්ඡුතම අවස්ථාව නම් කෙනෙකු තමන්ගේ මෙලොව ජීවිතය අවසානයෙන් පසුව ක‍්‍රිස්තුන් වහන්සේ සමග අනන්ත ජීවිතයට ඇතුළත්වීමේ හැකියාව ඇති බව තේරුම් ගැනීමේ ප‍්‍රීතියය. එම නිසා මෙලොව විටෙක විඳින්නට සිදුවන දුක් කරදර හා වේදනා වලට කිසිසේත් මේ නියම ප‍්‍රීතිය විනාශ කර දැමිය නොහැක. ප‍්‍රීතිය ගැන කතා කරද්දී එහි පිවිතුරු ආදර්ශය ලෙස අපට ක‍්‍රිස්තුන් වහන්සේව සැලකිය හැක. දේව ජනතාව හා උන්වහන්සේ අතර පැවතිය යුතු සබඳතාවය ගැන සඳන් කරමින් සැබෑ මිදි වැල පිළිබඳ ඉගැන්වීම් ඉදිරිපත් කරන ක‍්‍රිස්තුස් වහන්සේ, අවසානයේ සඳහන් කරන්නේ, ‘මේ දේවල් මා ඔබට ප‍්‍රකාශ කළේ, මාගේ ප‍්‍රීතිය ඔබ තුළ ඇතිවන පිණිසත්, ඔබේ ප‍්‍රීතිය සම්පූර්ණ වන පිණිසත්ය’ යි වදාළ සේක. (ජුවාම් 15/11) එනම් මිනිසෙකුට ලැබිය හැකි උත්තරීතර ප‍්‍රීතිය ක‍්‍රිස්තුස් වහන්සේ තුළ ජීවත්වීමය. මේ අත්දැකීම පිළිබඳ කතා කරන ශුද්ධවූ පාවුලූතුමා, ‘නිතරම ප‍්‍රීතිවන්න, නොකඩවා යාච්ඤ කරන්න, සියල්ලෙහිදී ස්තුති දෙන්න. කිතුනුවන් වශයෙන් දෙවියන් වහන්සේ ඔබගෙන් බලාපොරොත්තු වන්නේ එයයි’ පවසා සිටියි. 
(1 තෙස.5/16)


නමුත් අද අවට ලෝකය තුළ ‘ප‍්‍රීතිය’ යන්න තේරුම් ගන්නේ මෙයට වඩා හාත්පසින්ම වෙනස්වූ ආකාරයකටය. බොහෝ දෙනෙකුට අද ප‍්‍රීතිය යනු ධනය, බලය හිමිකර ගැනීම හා විනෝදයෙන් ජීවත්වීමය. මේ ගැන සඳහන් කරන ප‍්‍රැන්සිස් පාප්තුමා කියා සිටින්නේ ‘කිතුනුවා යනු ප‍්‍රීතිමත් පුරුෂයෙකි, ස්ත‍්‍රියකි…ප‍්‍රීතිය යනු කුමක්ද? එය හුදෙක් විනෝදය පමණක්ද? විනෝදය හොඳ දෙයකි. නමුත් ප‍්‍රීතිය යනු විනෝදය නොවේ. එය මුදල් හම්බ කිරීම වැනි කෙටි කාලීන ප‍්‍රතිඵල සහිත දේ වලින් ලබාගත හැක්කක් නොවේ. විනෝදයේ අවසානය මතුපිටට පමණයි. ප‍්‍රීතිය යනු ශුද්ධාත්මයාණන්ගේ ආලෝකය ලබා ගැනීමයි. නියම ප‍්‍රීතිය යනු ක‍්‍රිස්තුස් වහන්සේ අප සමග බවත්, උන් වහන්සේ පියාණන් සමග බවත් අවබෝධ කර ගැනීමයි.’

කිතුනු පවුලේ ප‍්‍රීතිය ගැන කතා කරන දෙවන ජුවාම් පාවුලූ පාප්තුමා, පවුල් අපෝස්තලික සේවයේ යෙදෙන සියල්ලන්, මේ සීඝ‍්‍රයෙන් වෙනස්වන ලෝකය තුළ පවුල් ජීවිතයේ ප‍්‍රීතිය සතුට සොයා යෑමට විවාහකයින්ට සහය විය යුතු බව පෙන්වා දුන්හ. තව දුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ නොයෙකුත් විෂමතාවයන් නිසා දුක්විඳින නූතන සමාජය තුළ සැඟවී ඇති ප‍්‍රීතිය සොයාගත හැක්කේ ශුද්ධාත් මයාණන්ගේ මග පෙන්වීමෙන් බවද එතුමෝ අවධාරණය කළහ. අද නූතන පවුලට සැබෑ ප‍්‍රීතිය අහිමි වී තිබෙන්නේ ආර්ථික දුෂ්කරතා නිසා නොව, අනවශ්‍ය සැකය, අනියම් සබඳතා, පවුල් ජීවිතයේ යුතුකම් හා අයිතිවාසිකම් පිළිබඳ වැරදි වැටහීම්, අතෘප්තිකර විකෘති ලිංගික හැසිරීම්, දරුවන්ගේ නොමනා හැසිරීම් වැනි ක‍්‍රියාවන් සඳහාය. මේ හැමකක්ම පවුල තුළින් ජයගත හැකි පවුල් දිවිය බාහිරව ආක‍්‍රමණය කරන බලවේගයන්ය. පසුගිය දිනෙක මා සේවය කරන විවාහ අධිකරණය ඉදිරියේ පෙනී සිටි දෙදරු මවක් කියා සිටියේ, තම දරු දෙදෙනා නොවන්නට මේ වන විට එක්කෝ සිය දිවි නසාගෙන හෝ දික්කසාද වී හමාර බවය. මේ ඇගේ පමණක් නොව තවත් බොහෝ දෙනෙකුගේ තත්ත්වය විය හැක. එයට හේතුව ඇගේ සැමියා විසින් තමන්ට වඩා බොහෝ වයසින් අඩු තරුණියක හා සමග පවත්වන අනියම් සබඳතාවයි. ඔහු උපයන හැම දෙයක්ම හූරා ගන්නා මෙම තරුණිය නිසා තමන් හා දරු දෙදෙනා මානසිකව පමණක් නොව කුසට නිසි අහරක් නොමැතිව ශාරීරිකවද, අසීමිත ලෙස පීඩා විඳින බව මේ කාන්තාව කියා සිටියේ හැඬූ කඳුළෙනි. මේ විවාහ ජීවිතය තුළ ප‍්‍රීතිය නැතිකර දමන එක් හේතුවකි.

අද තවමත් අලූත් යුවලවල් අතර ඉතා භයානක හා සීඝ‍්‍රයෙන් පැතිර පවත්නා ව්‍යසනයක්ව ඇත්තේ අසාර්ථක ලිංගික ජීවිතයයි. කඩාකප්පල්වූ බොහෝ විවාහයන්හි වරෙක එක් පාර්ශවයක් හෝ විටෙක දෙපාර්ශවයම සතුටුදායක ලිංගික වින්දනයක් අත් නොදුටු බව බොහෝ විට පවසා සිටියි. සමහරවිට මෙය ස්ත‍්‍රී හා පුරුෂ ලිංගිකත්වය පිළිබඳ හොඳ දැනුමක් හෝ අවබෝධයක් නොමැතිකම නිසා විය හැක. නමුත් දැන් දැන් මෙයට මූලික හේතුව බවට පත්වෙමින් සිටින්නේ බොහෝ දෙනා විකෘති ලිංගික හැසිරීම් කරා යොමුවීමයි.

අසැබ් චිත‍්‍රපට හා අසැබි පොත පත මගින් මුළුමනින්ම ඉදිරිපත් කරන්නේ සාමාන්‍ය ලිංගික ජීවිතය නොව විකෘති ලිංගික හැසිරීම්ය. එවැනි හැසිරීම්වල එකිනෙකා කෙරෙහි දැක්විය යුතු ආදරය හා ගෞරවය පිළිබඳ කිසිම හැඟීමක් නැත. මේවා නරඹන, මේවාට ඇබ්බැහි වී ඇති අයට මෙවැනි විකෘති ලිංගිකත්වයන් සාමාන්‍ය ලිංගිකත්වය බවට පත්ව ඇත. ආදරය, ගෞරවය, පක්ෂපාතීත්වය නොමැති ලිංගිකත්වයේ ප‍්‍රීතිය නැත. ඇත්තේ කායික හා රාගික වින්දනය පමණි.

එසේ ම, බේබදුකම හා වෙනත් මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීමත් අද පවුල් දිවිය තුළින් ප‍්‍රීතිය තුරන් කිරීමේ එක් ප‍්‍රධාන මාර්ගයක් වී ඇත. එය හුදෙක් පවුලක් ආර්ථික වශයෙන් අගාධය කරා යොමු කිරීමක් පමණක් නොව, විශේෂයෙන් සැමියාගේ ආදරය හා සෙනෙහස තම බිරිඳට හා දරුවන්ට අහිමි කිරීමකි. මම හම්බකරල මම අඩියක් ගහල, කාටවත් හිරිහැරයක් නැතිව හිටියොත් මොකක්ද එ් කෙ තියෙන වැරැද්ද? මේ බොහෝ දෙනෙකු අද නගන තර්කයයි. බැලූ බැල්මට නම් වැරැද්දක් නැත. නමුත් බීමත් මිනිසා හැම විටම සිටින්නේ අසිහියෙනි. එම නිසා බීමත්කමෙන් පසු කෙනෙකුට ප‍්‍රකෘති සිහියෙන් සිටිය නොහැක. එවැනි කෙනෙකුට තව කෙනෙකුට නිසි අයුරින් ආදරය සෙනෙහස දැක්විය නොහැක. ඔහු අසිහියෙන් සිටින්නේ තම බිරිඳ හා දරුවන් සමග සතුටින් ප‍්‍රීතියෙන් සිටිය යුතු වේලාවය. ඔහු බීමට වියදම් කළේ තම පවුලේ සුබ සාධනය වෙනුවෙන් යොදවන්නට තිබූ මුදල්ය. එම නිසා බීමත්කම නැති කළේ පවුලේ ප‍්‍රීතියයි. බීමත් සැමියා තම බිරිඳට හා දරුවන්ට අහිමි කළේ ඔවුන්ගේ ප‍්‍රීතියේ අයිතිවාසිකමයි.

ගරු ප‍්‍රැන්සිස් නික්ලස් සේනානායක පියතුමායි.
අගරදගුරු පදවි විවාහ අධිකරණ නාහිමි හා 
කොළඹ හය වැනි පාවුලූ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක.

Published by: Ranjan De Mel.
www.bhakthiprabodhanaya.org



No comments:

Post a Comment